Friday 11 December 2015

දාමුද තොංඩුව ජේසුට, මේ නත්තලේ?

ලංකාවෙ අපි,
එල්ලුම් ගහ නැවත ගේනවද-නැද්ද කියා විවාද කරන මේ වකවානුවේ,
ජේසුගේ උපත සමරන තවත් නත්තලක් දොර ගාවටම ඇවිත්.
අනේ අපි දැනන් හිටියනම් අපි මොනාද මේ කරන්නෙ කියලා!
එක පැත්තකින් එල්ලලා මරන්න කියලා කෑ ගහන අපි, කිතුනුවෝ,
අනිත් පැත්තෙන් කිතු උපතෙ උද්දාමයට කල් තියාම ලහිලහියේ.

අපි අතරම්ං වෙලා නේද?

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
හවුලෙ පවට නැබුරුවුවත්,
එදා ජුදා නීතිය අනුව ස්ත්‍රියව පමණක් ගල් ගසා මරාදැමිය යුතුයි කියා
පස්සෙන් පන්නාගෙන පිරිමින් ලුහුබදින විට,
නීතියට එහා ගිය ප්‍රේමයකින් ඇයව ගලවාගන්නට යන 
උතුම් මනුෂ්‍යකුගේ උපතක් කියලා.....

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
සබත් දිනේදී බාහිර වැඩ තහනමක් තිබුනත්,
ලිදට වැටුන ගව සත්වයව මරාගෙන කනවට වඩා,
එතුලින් පිටතට ගෙන ජීවිත දානයක් දෙන්න කියා අවධාරණයෙන් අණ කරන්නට යන 
අවිහිංසාවාදී සොභාවධාර්මිකයකුගේ උපතක් කියල.....

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
දෙවියන්ගේ දිනේදි දේව සේවයෙන් පමණක් කාලය ගත කල යුතු බව නීති පොතේ තිබුන නමුත්,
නීතිය කඩ කරනු පිණිස නොව, එය සම්පූර්ණ කරනු වස්,
පාපයේ හෝ මනුෂ්‍යයාගේ විනිශ්චයේ උගුලට අසුවී වේදනාවිදිනවුන්
කිසිදු භේදෙකින් තොරව ගලවාගන්නට යන 
මහා ප්‍රෙමයක උපතයි කියලා.....

අනේ අපි දැනන් හිටියනම් අපි මේ සමරන්නේ,
අපි අතරමං වෙලා නිසා අපිට මාර්ගය, සත්‍යය හා ජීවනය මේකයි කියා කියලා දෙන්නට යන,
එහෙත් අපි ඒ දේ තවත් හරියට නොදැන,
නිරපරාදේ විනිශ්චය කර අමු අමුවේ මරන්නට යන නමුත්,
"ස්වාමිනී මොවුන් කරන දේ නොදැන කරන නිසා මොවුන්ට සමා වෙන්න" කියා, 
අපි වෙනුවෙන්, තම මරණ මංචකේ බෙරිහංදෙන,
දේවත්වයට පමණක් සීමා නොවු, 
මනුෂ්‍යය දෙවියකුගේ උපතයි කියලා.....

අපි හොදටම අතරම්ං වෙලා නේද?

අපි, කිතුනුවෝ,
තවත් එල්ලුම් ගහ ගෙනෙන්න කිය කෑගහමුද?
නැතිනම් ඊටත් වඩා හයියෙන්,
අපේ සසුන් පියා සමග "මම කවුද විනිශ්චය කරන්න" කියා කෑගහමුද?
එහෙමත් නැතිනම්,
අද උපත ගැන සංතෝසෙන් මත්වී ඉතා ඉක්මනින් මරාගන්නවට වඩා
දාමුද තොංඩුව ජේසුට, මේ නත්තලේ?

No comments:

Post a Comment