Thursday 4 February 2016

ඒව් නිදහසේ ස්වර්ග රාජ්යයට මාගේ දේශය අවදි කරනු මැන පියණනේ.....!

68 වෙනි නිදහස් උත්සවය සමරන අද දින, අපි අපෙන් ඇසිය යුතු එකම එක පුංචි ප්‍රශ්නයක් තියෙනව...ඒ තමයි: අපි එකිනෙකා, සාමුහීකවත්, පුද්ගලිකවත්, මේ සමරන්නේ මීට අවුරුදු 68 කට පෙර, අපිට අපේ දේශ-හිතෛෂී මුතුන් මිත්තෝ දිනා දුන්නු, එහෙම නැත්නම් අපිට අපේ ජන්මයෙන්ම උරුම වුනා මිසක, අපි කවර ආකාරයකින් හෝ පංගුකාරයන් නොවුන, තාමත් පංගුකාරයින් නොවන, නිදහසක්ද කියලා..... 

එදා අපේ නිදහස් සටනේ නියමුවන් සිහිකර, ඒ රතු ලෙයින් පොහොණි වුණු අපේ ජන්ම ද්වීපයට ගයන මේ ගීතය, අපි තුල ඇති ඒ දේශහිතෛෂීභාවය අවදි කරන, ඒ තුලින් අපි සමරන මේ නිදහසේ "අපි කොතැනද" යන්න මෙනෙහි කරන්නට, අපේ හදවතට තට්ටු කරනා ආරාධනාවක්ම වේවා......! 

ගීතයේ පද රචනය: අචර්‍යය මහගම සේකර ශුරීන් 
ගීතයේ සංගීතය හා ගායනය: ආචාර්‍ය්ය පණ්ඩිත් ඩබ්ලිවු. ඩී. අමරදේව
(මෙහි ක්ලික් කරන්න) රත්නදීප ජන්මභූමි 

තමා අදහන ආගමට ගරු බිය නැත්තා, තමා විශ්වාස කරන දෙවියන්ට නිග්‍රහ කරයි. තමා හැදුනු වැඩුනු රටට ගරු බිය නැත්තා, තමා හැදූ වැඩූ මවට අපහාස කරන, ඇය ගැන ලැජ්ජා වෙන කෙනෙකු හා සමානය.... 

ලක්මවගේ තරම් ස්වභාවික බතින්, ධාන්‍යයෙන්, පලතුරෙන්, එලවුඵෙන් පිරුනු මෙවන් කුසක් අපිට තවත් කොයින්ද? ඇය සරසා ඇති ඒ, නිල්වන් සාරියක් බදු වූ මහා කරදිය වලළ්ල පමණක් නොව, ඇගේ ශරීරය පුරා දිවෙන ඒ මිරිදිය ධාරා; දිය ඇලි ගංගා, ඇල දොල, වැව් අමුණු පොකුණු, වලින් සැදුම්ලත්, මෙහෙව් ජෛව-විවිදත්වයකට උරුමකම් කියන තවත් රටක් අපිට කොයින්ද? අරලිය මල් පහන් තෙලට මුසුවි නැගෙන සුවදින්, ගංඨා නාදයෙන්, උදේ දිවා හවස අපි ශ්‍රවනය කරන ධහම් ගුන ගායනයෙන්, නිමක් නැති තවත් රටක් අපිට කොයින්ද? 

එසේනම්, අපි අපෙන් ඇසිය යුත්තේ මෙපමණයි: ලක් දරුවන් හැටියට, අපි අපේ අම්මා ගැන ආඩම්බරද? එසේ නැතිනම් අපි ආඩම්බර වෙන්නේ, විටින් විට අපි විසින්ම ඇයට අත්පත් කරදී තිබෙන, ඇයට අත්පත් කර දීමට තවත් කටයුතු කරන, අනේක අපකීර්තීන් ගැන විවේචනය කරමින්ද? 

ලක් මවගේ පුජනීයත්වය, ඇගේ භාව ප්‍රතිභාවය හා ඇගේ පෞඩ ඉතිහාසය ගැන ගයනා මේ ගීතය, අපේ නෙත් සිත් විවර කරන, ඒ තුලින් තම මවට ගරහන්නෙක් වෙනවා නොව, දිවි හිමියෙන්ම ඇයට ගරු කරන, ඇයව රකින්නට කැපවු, අප තුල සැගවී සිටින ඒ උදාරත්වයේ මනුෂ්‍යයාව අවදි කරන්නට කෙරෙන ආරාධනාවක්ම වේවා.....! 

ගීතයේ පද රචනය: ආචාර්‍ය්ය ඇරිසන් අහුබුදු ශූරීන් 
ගීතයේ සංගීතය හ ගායනය: ආචාර්‍ය්ය සුනිල් ශන්ත ශූරීන් 
(මෙහි ක්ලික් කරන්න) ලංකා ලංකා පෙම්බර ලංකා

නිදහස! 
අපිට මේක තවත් එක තේමාවක් පමණද? 
නැතින්ම්, මේ සමරන නිදහස අපිට සැබවින්ම එක යථාර්තවාදී සත්‍යයක්ද? අපි ඇත්තටම නිදහස්ද? 

අපේ පටු අදස්වලින්; දේවත්වයින් පිරුණු නමුත්, හික්මීමක් නැතිව තිරිසන් වෙන අපේ මේ මනුෂ්‍යයත්වයෙන්; අපේ දුර දිග නොබලා කටයුතු කිරීමෙන්; අපේ මමත්වයෙන්; අපේ එකි නෙකාව පෙලාදමන, තව කෙනෙකුට ඉහලට යන්නට නොදී පහලට ඇද දමන තන්හාවෙන්; අපේ ඉරිසියාවෙන්; අපේ බොරු කීමෙන්; අපේ වෛරයෙන්; අපේ පලිගැනීමෙන්; අපේ නොඉවසීමෙන්; අපේ ඔපා-දූප සෙවීමෙන් විතරක් නොව, එකිනෙකාට ගිනිගෙඩි දී ඔවුන්ව විනාශ කරන්නට කරන උප්පරවැට්ටිවලින් අපි නිදහස්ද? 

අපේ, දෙවියන්ට පමණක් දෙවෙනි වූ, එහෙත් දේවත්වයට සමාන වූ මේ මනුෂ්‍යත්වය තාමත් නිදහසක් ලබලා නැහැ නේද? එහෙවු නිදහසක් අපි අත්දකින තුරු, අපි සමරණ සෑම නිදහස් සැමරුමකදීම, අපි උදේ හවහා කරන සෑම කන්නලව්වකම තිබිය යුත්තේ එකම එක පුංචි යැදුමක් පමණයි: ඒව් නිදහසේ ස්වර්ග රාජ්යයට, මගේ සිත, මගේ ගත; අපේ සිත්, අපේ ශරීර; එතුලින් අපේ දේශය, අපේ රට සහ මේ මහා මිහිතලයම අවදි කරනු මැන පියණනේ.....! 

ගීතයේ පද සංකල්පනාව: උතුරු ඉන්දීය රබින්ද්‍රනාත් තාගොර් පණ්ඩිතුමන්ගේ අභාශයෙනි 
ගීතයේ සංගීතය හා ගායනය: ආචාර්‍ය්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
(මෙහි ක්ලික් කරන්න) පටු අදහස් නම් පවුරෙන් ලෝකය